දයියා සමයම





❤️ටිපී උතුමා හා දයියා සමයම. 




🔹 මහතාට සාමාන්‍යෙන් සැරට කන්නට බැරිය. ඒ එතුමාට ඒවා නුහුරු නිසාය. ගෙදර කිරි හොද්දට පවා අමුමිරිස් නැට්ටක් වැටුනද එතුමා මර හඬ දෙන්නේ මිරිස් කිලෝවක් කෑ ලෙසය. ඒවා බොරු සෝබන බෙරිහන් දීම් කියා දනිතත් එතුමාගේ පුංචන් බඩ ගෙඩියට නුහුරු නිසා අසනීපයක් වත් වේවි යැයි බියෙන් එතුමාගේ මව ගෙදර ටිපී කෑම වට්ටෝරු කිසිවකට මිරිස් යොදන්නේ නැත. ඉඳහිට ලාවට මිරිස් සැර දෙතත් එදිනට මුලු තට්ටු දහයටම ඇහෙන්නට මැරෙන්න හැදීම එතුමාගේ සාමාන්‍ය විදිහය. වතුර බොමින් සීනි හා චොකලට් කමින් මෙලොවින් මිරිස් තුරන් කල යුතු යැයි කියමින් ගෝරනාඩු කරන ටිපියා එවන් අවස්ථාවල මහා සමයමකි.


🔸කොහොමත් එතුමා කන්නේ සමයං කෑමය. එක කෑමක රහ වැටුනොත් ඒ කෑම අප්පිරියා වන තුරුම එයම තුන් වේලට කෑම එතුමාගේ සිරිතය. ඉන් පසුව එය මතකයෙන් ගිළිහෙන අතර එතැනට තව කෑමක් පැමිණේ.ඉන්පසුව හැසිරෙන්නේ අර පෙර කෑ කෑම අවුරුදු මිලියන ගානකින්ම නොකෑ නොදන්නා අප්පිරියා සහගත කෑමක් ලෙසය. මේ සමයං නිවැසියන්ට පුරුදු අතර අසල්වැසි ශ්‍රී ලාංකික පවුල් දෙක තුනද මේ වනවිට එතුමාගේ ක්‍රියා කලාපය ගැන යම් අවභෝධයක සිටී. එනිසා එකී ගෙවල් වලදී භාවිතා වන , අනේ නැන්නෙ මම මේක මේ කන්නේ අවු. මිලියන දාහතකින් වැනි වැකි ඔවුන් මායිම් කරන්නේ නැත. ඒ ඔවුන් එතුමාට අසීමිත ලෙස ආදරේ නිසාය. අනික එතුමාගේ අවු. මිලියන ගනන් වල තරම ඔවුන් දන්නා නිසාය.


♦️ටික කලකට පෙර එක් විවේකී ඉරිදාවක හිතවත් ශ්‍රී ලාංකික පවුලක පොඩි දරු පැටවෙකු ගේ පළමු උපන්දිනය යෙදී තිබුනෙන් ටිපී මහතාට ද එහි යෑමට විශේෂ ආරාධනයක් ලැබිනි. ඒ අනුන්ගෙ උපන්දින කේක්වල ඉටිපන්දම් නිවීමට ඇති උපන් හපන් කම හේතුවෙනි. මීට පෙර එකී නිවසේම පළමු දරුවාගේ උපන්දිනය පැවැත්වුනු අතර එහිදී දැක්වූ හපන්කම් හේතුවෙන් ඔහුගේ මල්ලීගෙ පළමු උපන්දිනයේ කේක් ගෙඩියේ ගසා ඇති ඉටිපන්දම නිවීමට නිතරඟයෙන්ම ටිපී මහතාව පත් කරගෙන තිබුනි. එතුමා ඊට එතරම්ම දක්ශය.


🔹 එකී ඉරිදාවේ සූට් බූට් දමාගෙන හැතැම්මක් දුරට විහිදෙන පරිදි සුවඳ හලාගෙන තම දෙමාපියන් හා ටිපී මහතා සාදයට සහභාගී විය. එතුමා එහි ගොස් ටික මොහොතකින් ඒ නිවසේ උපන්දින කේක් ගෙඩිය කැපූ අතර සිතූ පරිදිම එහි ඉටිපන්දම් නිවීමේ කාර්‍ය ටිපී මහතා උත්කර්ෂවත් අන්දමින් කරනු සියල්ලෝ සිනාමුසුව බලා සිටියහ. ඒ ක්‍රියාවෙන් පසුව දරුවන් දරුවන්ගේ ලෝකයේත් වැඩිහිටියෝ ඔවුන්ගේ ලෝකයේත් ජීවත් වන්නට පටන් ගත් අතර දරුවන් වෙනුවෙන් වෙනමම කෑම බීම සකසා තිබුනි.


🔸සාමාන්‍යෙන් ටිපී මහතාට කෑම කටක් කවා ගැනීම මහා බැරෑරුම් කටයුත්තක් වන බැවින් ගෙදරදී යමක් බඩට රිංගවාගෙන යෑම එකී නිවැසියන්ගේ සිරිතය. එනිසා යන නිවසෙන් කෑවත් නොකෑවත් ඒ තරම් ඒ ගැන වදවියයුතු නැත. මේ දිනයේද පැස්ටා ටිකක් කවාගෙන ගිය හෙයින් එතුමාට ඕනෑ පදන් නටන්නට ඇර එතුමාගේ මව තම මිතුරියක් හා කතාවකට වැටී සිටි අතර සැරින් සැරේ ටිපී මහතා වෙත නෙත් හෙලනුද දැකිය හැකි විය.


♦️ ටිකකින් ඈ දුටුවේ ඒ නිවසේ තිබූ සැර මුරුක්කු පැකට් එකකුත් අරන් යන ටිපී මහතාය. ඒ දුටු මව අනේ පුතේ ඕක සැරයි කී අතර නෑ මං කන්නෑ කියා ඈට ඔහුගෙන් පිළිතුරු ලැබිණි. එදින වඩේ , මුරුක්කු , තෝසේ, ආදී බොහෝ දෑ තිබූ අතර දරුවන්ට වෙනම සැර නැති වඩේද තිබිණි. ටිපී මහතා ද වඩේ කකා සිටිනු දුටු ඈ සතුටු සිනා පෑවේ කුමක් හෝ බඩ ගෙඩියට වැටෙන නිසාය. ටිපියා එහෙට මෙහෙට යනුත් , එක එක ඒවා පොඩ්ඩන්ගේ කාමරයට උසසන් යනුත් ටිකකින් සාමාන්‍ය දසුනක් වූ අතර පැමිණ සිටින අනිත් පොඩ්ඩනුත් එක එක ඒවා පිරවූ පිඟන් එහෙට මෙහෙට උස්සන් යනු පෙනිනි.


🔹 ටිපී මහතාගේ මවත් ඇගේ මිතුරියකුත් ටිකකින් පොඩ්ඩන්ගේ කාමරයට ඔලුව දමා බැලූ අතර , ඔවුන්ට පෙනුනේ ඇතුලේ වෙනම සාජ්ජයකි.


තම තමන්ගේ නිවෙස් වල අමුමිරිස් නැට්ටක් තියා කොළයක් වත් හතර මායිමේ කොහේ හෝ තිබ්බොත් දිවවල් හැතැම්මක දුරට එලියට දමාගෙන සමයං නටනා ටිපී ඇතුලු බටු රැල යස අගේට මිරිස් දැමූ මුරුක්කු, වඩේ, රෝස්ට් චිකන්, මාලු ආදීය ගිල දමනුත් , දොඩම් බිබී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් චිත්‍ර අඳිනුත් ඔවුන්ට පෙනුන දසුන විය.


🔸ඒ කිසිවක් නොදුටු සේ සිටි මවුවරුන් ටිකකින් දරුවන්ට බත් කටක් කන්නට එන ලෙස කී අතර එයට එකඟව එතැනට පැමිණි ටිපී ඇතුළු සගයන්ට අල කිරි හොදි , හා මිරිස් නොදැමූ චිකන් සූදානම් කර තිබුනි. ටිපී මහතාගේ මව එතුමාට කැවුවේ අල කිරි හොදි දැමූ එකම එක බත් කටක් පමණි. එකී නිවසේ වහල උඩ යන්නට බෙරිහන් දුන් ටිපී මහතා අම්මෝ ඒවට දයියා දාලෝ ගගා මැරෙන්න හැදූ අතර ඉන් ටිකකට පෙර එතුමා යස අගේට මිරිස් මුරුක්කු ගිල දමමින් සිටිනු තම දෑහින් දුටු මව මල් වතු පිටින් පුප්පවා ගනිමින් , අනේ මේහ්හ් සමයං එපා මෙතන දැං ඉස්සෙල්ල කෑවෙ යස අගේට , දැං මොකද්ද දැවිල්ල ? යි ප්‍රශ්න පිට ප්‍රශ්න නැගූ අතර ,


තම ලැජ්ජාව වසාගත් ටිපී මහතා ,


🌹නෑ නෑ අම්මේ. මම හිතන්නෙ අල තමා සැර. මිරිස් නෙමේ, බුරුක්කුත් නෙමේ, අඩෙත් නෙමේ, චිකනුත් නෙමේ, අලම තමා සැර.. මම හිතන්නෙ මට ඒක ඇලර්ජික් කියූ අතර,


එතුමා තම පිළිතුර කියූ ලතාවත් වැරද්දූ වචනත් මුලු සාදයම සිනාවේ ගිල්වන්නට සමත් විය.

©️ප්‍රභානී තෙන්නකෝන්.


Comments

Popular posts from this blog

හරි දඟ පොඩි කාලේ

ලෙඩ සමයම

වැසිකිළි සමයම