රෝස පිපෙන්නෙ මැයි වල.





රෝස පිපෙන්නෙ මැයි වල


එක පුංචි රෝස පැලයක් තිබ්බා. තනියම හුදකලාවෙ හිටිය මේ රෝස පැලේ එක මලක් පිපුණා. ඒ මල ලස්සනට සුවඳ හමන්න ගත්තා. දකින දකින හැමෝම අනේ ලස්සන රෝස මල කීවා. ගහ ගොඩක් ආඩම්බර වුනා. ඒත් දුක් වුනා ඒ රෝස මල තනියම නිසා. ගහට කොච්චර ඕනෙ වුනත්, ගහ කොච්චරක් ආසාවෙන් හිටියත් ඒ රෝස මලට තනි රකින්න තව රෝස මලක් ආවෙම නෑ.


ඔහොම අවුරුදු ගානක් ගියා. ශීත කාල ගොඩාක් පහුවුනා. වසන්ත කාල නොදැනීම ගියා. ග්‍රීශ්ම කාලවල රෝස ගහ හෙම්බත් වුනා. තනිකම සෑහෙන්න දැනුනා. රෝස මල ආඩපාලි කීවා මට තනියි කීවා, අනේ රෝස ගහ , බලන්න අනිත් ගහ් හැමඑකේම මල් ගොඩයි කීවා. රෝස ගහ ඒ ඔක්කොම දරාගත්තා.. රෝස ගහ දකින , රෝස ගහ විඳින අයත් රෝස ගහෙන් ඇයි ආය මල් නැත්තෙ ඇහුවා. ඒවට දෙන්න රෝස ගහට උත්තර තිබ්බෙ නෑ. රෝස ගහ තනියම ඒ හැම එකම දරාගත්තා. තමන්ගෙ එකම රෝස මල පණ වගේ රැක්කා.


ඔන්න එක නපුරු ශීත කාලයක් ඉවර වෙලා ලස්සන වසන්ත කාලයක් ආවා. රෝස ගහ හරි ආදරෙන් ඒ වසන්ත කාලය වැළඳ ගත්තා. රෝස පිපෙන්නෙ මැයි මාසේ, රෝස ගහ තිස්සෙම හිතුවෙ එහෙම.. ඉතින් දැන් මැයි ඇවිත් රෝස ගහ බලාපොරොත්තු දල්වාගත්තා.. බලා හිටියා. ආසාවෙන් බලා හිටියා..


මෙන්න දවසක් උදේ, ලස්සනම ලස්සන රෝස පොට්ටුවක් ගහේ මෝදුවෙන වග රෝස ගහට දැනුනා. රෝස ගහ පරිස්සම් වුනා. ඒ රෝස පොට්ටුවට මහ ගොඩක් ආදරේ වුනා. අනේ එකම එක දවසයි ඒ සතුට ඒ රෝස ගහ වින්දේ.. පහුවදා හවස් වෙද්දි ඒ රෝස පොහොට්ටුව ගහ දාල යන්න තීරණය කරල තිබුනා.. ගහ අඬා වැළපුනා. අනේ මගේ මල දාල යන්න එපා මාව කියල කෑ ගහ ගහ ඇඬුවා. වටේ ගස් වැල් පවා අඬවන තරමටම රෝස ගහ ඉකි ගහ ගහ ඇඬුවා. දන්න තරම් හැම දෙවියෙක්ගෙන්ම ඉල්ලුවා රෝස පොට්ටුව ආරක්ශා කරල දෙන්න කියලා. ඒත් වැඩක් වුනේ නෑ.


පහුවදා උදේ රෝස පොට්ටුව කලින් තීරණය කරල තිබ්බ ගානට රෝස ගහ අතෑරල ගියා. රෝස ගහට ඔහේ බලා ඉන්නව ඇරෙන්න වෙන දෙයක් තිබ්බෙ නෑ. ඒ වෙද්දි රැයක් පුරා රෝස ගහ හෙම්බත් වෙලා හිටියෙ රෝස පොට්ටුව ආරක්ශා කරගන්න සටන් කරලම. ගහ පිස්සුවෙන් වගේ ඇඬුවා. කෑ ගහ ගහ ඇඬුවා. රෝස ගහ එයාගෙ වේදනාවන් හංගගත්තා.. රෝස මල රෝස ගහේ කඳුළු පිස්සා.. මම ඉන්නව ඔයාට.. රෝස මල කීවා.. රෝස ගහ රෝස මලව තුරුල් කරගෙන රෝස පොහොට්ටුව තමන්ව දාල යන හැටි බලා වුන්නා..


අන්තිමේ ඈ මෙහෙම කීවා..


ඇයි එයා මාව දාල ගියේ.

යන්නනම් ඇයි ආවෙ?

ඇයි ආව බව මට කීවේ?

නොකියාම ඇවිත් නොකියාම නොගිහින් , කියලා ඇවිත් නොකියා ගියේ ඇයි?

එයාට තිබ්බා ඉන්න.. මාව දාලා නොයා ඉන්න.. මගේ තුරුල්ලෙම ඉන්න
.


©️ප්‍රභානී තෙන්නකෝන්.

Comments

Popular posts from this blog

ලෙඩ සමයම

හරි දඟ පොඩි කාලේ

වැසිකිළි සමයම